නීරෝගි කෙස් කලඹක් සඳහා ඔබ අනුභව කළ යුතු ආහාර

නීරෝගි කෙස් කලඹක් සඳහා ඔබ අනුභව කළ යුතු ආහාර

සමහර අයට උපතින්ම නීරෝගි කෙස් කලඹක් හිමිවේ. පරම්පරාවෙන් ඔබට ලැබෙන කොණ්ඩය නිසි ලෙස නඩත්තු කිරීම සඳහා කවුරුත් යම් ශ්‍රමයක් දැරිය යුතුයි. ජීවන රටාවේ හා දේශගුණික වෙනස්වීම් නිසා හිස කෙස් වල නීරෝගි බව අඩුවී මලානික, වියළි ස්වභායක් ගත හැකියි. අප බාහිරින් ලබා ගන්නා shampoo, conditioner වැනි හිස කෙස් සත්කාර මෙම තත්ත්වය දුරු කිරීම සඳහා උපකාරි වූවත්, ආහාර වලින් අප අභ්‍යන්තරයට ලබා ගන්නා පෝෂණය හිස කෙස් වල නීරෝගිභාවය සඳහා බෙහෙවින් ඉවහල් වේ.

ඔබේ හිස කෙස් වල පැහැය පෙනුම, ඔබගේ ආහාර රටාව අනුව වෙනස් විය හැකියි. හිස කෙස් වලට නිසි පෝෂණය ලබා දීමට නම්, ඔබගේ දෛනික ආහාර වේලට විටමින් හා ඛනිජ ලවණ වලින් සපිරි ආහාර එකතු කර ගත යුතු වේ.

1) බිත්තර.

ප්‍රෝටින් වලින් ඉහළ බිත්තර, ඔබගේ හිස කෙස් වල වර්ධනය සඳහා බෙහෙවින් උපකාරි වේ. බිත්තර වෙනුවට ඔබට කුකුල් මස්, මාලු, කිරි ආහාර හෝ සෝයා, ධාන්‍ය වර්ග වුවද ආහාර වේලට එකතු කරගත හැකියි.

යකඩ සහිත ආහාර අනුභව කරන්න

කෙස් සෛල සඳහා යකඩ අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයකි. යකඩ ඌණතාවය ඔබගේ හිස් කෙස් වල වර්ධන වේගයට හා ශක්තියට ඍජුවම බලපාන බැවින්, හැකි තරම් යකඩ සපිරි මස් මාලු වර්ග ආහාර වේලට එකතු කරගන්න. ඔබ ශාකමය ආහාර රටාවක් අනුගමනය කරන්නේ නම්, නිවිති, ගොටුකොළ, කාපිරි ගෝවා සහ සලාද කොල වැනි ඛනිජ ලවණ පිරි එළවලු වැඩි වශයෙන් කෑමට ගන්න.

3) ලෙමන් සහ දෙහි

විටමින් C යනු හිස කෙස් වල ශක්තිය සඳහා උපකාරි වන යකඩ අවශෝෂණයට වැදගත් පෝෂ්‍ය පදාර්ථයකි. ඔබත් දිනපතා දෙහි හෝ ලෙමන් යුෂ වීදුරුවක් මී පැණි හෝ වෙනත් සීනි ආදේශකයක් සමඟ පානය කිරීමට පුරුදු වන්න. වාරේට හැදෙන වෙනත් පැඟිරි පලතුරු ඔබගේ අතුරු පසට එකතු කර ගැනීමෙන්වි ටමින් C වල අවශ්‍යතාව සපුරා ගත හැක.

4) මාලු හා ඇට වර්ග

ඔමෙගා 3 මේද අම්ල යනු ඔබගේ හිසකබලේ තෙතමනය ආරක්ෂා කරන, හිස කෙස් වලට අවශ්‍ය පෝෂණය ලබා දෙන පෝෂණ සංඝටකයකි. ඔමෙගා 3 මේදවල ප්‍රතිඵල ලබා ගැනීමට නම් ඔබ දෛනික ආහාර වේලට සැමන්, සාඩින්, මැකරල් වැනි මාලු එකතු කර ගත යුතුයි. සෞඛ්‍යයට අහිතකර ක්ෂණික අතුරු ආහාර වෙනුවට ඔබගේ හිස කෙස් වලට පෝෂණය සපයන වට්ටක්කා ඇට, ආමන්ඩ් සහ වොල්නටස් වැනි ඇට වර්ග අනුභව කරන්න.

5) ධාන්‍ය වර්ග

බයොටින් යනු විටමින් B යටතට අයිති පෝෂණ සංඝටයකි. බිත්තර, පීකුදු, බිත්තර කහ මදය, සෝයා පිටි සහ රාස්බෙරි වැනි ආහාර බයොටින් ඇතුළු සින්ක් හා යකඩ වලින් අණූනයි. සෛල වර්ධනය සහ හිස කෙස් වල වර්ධනයට බෙහෙවින් උපකාරි වන ඇමයිනෝ අම්ල නිෂ්පාදනය සඳහා බයොටින් ලබා ගැනීම වැදගත් වේ. මේ නිසා ඔබත් බයොටින් බහුල ආහාර ඔබගේ දෛනික කෑම වේලට එකතු කරගන්නට අමතක නොකරන්න.

6) වට්ටක්කා සහ බතල

සීබම් යනු අපගේ හිස්කබල නීරොගි ව පවත්වා ගැනීම සඳහා ශරීරයෙන් නිපදවන ස්වභාවික conditioner වර්ගයකි. ප්‍රමාණවත් ලෙස් සීබම් නිෂ්පාදනය වන්නට නම් අපේ ආහාර වේල සමබර විය යුතුයි. හැකි පමණ බීටා කැරොටින් බහුල, විටමින් A වලින් අණූන බතල, කොල වර්ග, ඇප්‍රිකොට්, වට්ටක්කා වැනි ආහාර අනුභව කරන්න.

7) අලිගැට පේර

විටමින් E සහිත ආහාර ඔබගේ හිස් කෙස් වල පෝෂණය සහ වර්ධනය වේගවත් කරයි. අලිගැටපෙර, ආමන්ඩ්, වෝල් නට් හෝ සූරියකාන්ත ඇට වලින් නිපදවූ තෙල් වල ඔබේ ශරීරයට අවශ්‍ය මේදය සහ විටමින් අඩංගු වේ.